මං හීන මවන්නෙක් නෙවේ ඒත් මං ආශ්චර්ය විශ්වාස කරන්නෙක්.

මම, ඔබ, අපි හැමෝම යම් කිසි වරප්‍රසාදයක් අද භුක්ති විදිනවා නම් ඒ, ඒවෙනුවෙන් අරගල කරපු,සටන් කරපු,ජීවිතය පුදපු මිනිස්සු නිසා මිසක නිකන්ම අපිට ලැබුනු දෙයක් නිසා නොවේ. අද නිදහස් අධ්‍යාපනය , සෞඛ්‍යය සේවා එකී මෙකී නොකියූ සියල්ල එසේ අපිට ලැබුණේ ඒ වරප්‍රසාද තමන්ට නොලැබුණත් අනාගතේ ඉන්න උන්ට ලැබෙන්න ඕන කියලා හිතපු පරාර්ථකාමී,අධිෂ්ඨානශීලී ,නිර්භීත ,මානවවාදී සැබෑ වීරයන් නිසාවෙනි. මේ එයට උදාහරණයක් වනු නොඅනුමානය .

අද මං ලියන කතාවෙ කථා නායකයා ටෙරී ස්ටැන්ලි ෆොක්ස්. ගොඩක් අය ඔහුව දන්නේ ටෙරී ෆොක්ස් කියලා. ඔහු කැනේඩියානු ජාතිකයෙක්. වර්ෂ 1958 ජුලි 28 උපත ලබන ඔහු සහෝදරයන් 2ක් හා සහෝදරියක් සිටින පවුලේ කාගෙත් ආදරයට ලක් වුණු ඉගෙනීමට මෙන්ම ක්‍රීඩාවටත් බොහෝ සේ කැපී පෙනෙන පුද්ගලයෙක් වුණා. Soccer , Rugby , base ball ක්‍රීඩාවල නිරත වුවත් basketball වලට තමා ඔහු ගොඩාක් ආස උනේ. ඒත් පාසලේ basketball කණ්ඩායමට ඔහු තේරුනේ නෑ උස මදි නිසා. ඒත් අවසාන අතිරේක ක්‍රීඩකයා විදියට ඔහු කණ්ඩායමට එකතු උනේ ඒ ආසාව නිසාමයි. පුහුණුකරුට තේරුණා ටෙරීට ගැලපෙන්නේ දිගු දුර දිවීම බව. ඒ සදහා ටෙරීව යොමු කරලා ඔහුව දිරිමත් කලා.ටෙරී අකමැත්තෙන් වුනත් කැමති උනේ පුහුණුකරුගේ හිත රිද්දන්න බැරි නිසා. ඒත් basketball අතෑරියෙ නෑ. අවසානයේ එම ක්‍රීඩාවෙන් ඔහු පාසල් ශූරතාවය දිනා ගන්නවා. ඔහුගේ පියා පවසන පරිදි ටෙරී දෙයක් සාර්ථක වෙනකම් කවදාවත් අතාරින්නෙ නෑ .

මේ කාලෙදි තමා ඔහුට දකුණු කකුලේ වේදනාව දැනෙන්න ගත්තේ.එතකොට ටෙරීට වයස අවු 19 යි. මෙය මුලින් නොසලකා හැරියත් වේදනාව වැඩිවත්ම ඔහු වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු වෙනවා. දෛවය ඔහුට අකාරුණික වෙමින් ජීවිතේ ඔහුට අභියෝගයක් බවට පත් කරන්නේ Osteosarcoma නම් දුර්ලබ ඇට මිදුලු පිළිකාවකින් ආත්මයම වෙලා ගනිමිනි. වෛද්‍යවරුන් ඔහුගේ ජීවිතය පිලිබඳ බලාපොරොත්තු තබා ගත්තේ 50% . ඒකත් ඔහුගේ දකුණු පාදය ඉවත් කලොත් විතරයි. සිත ශක්තිමත් කරගෙන සැත්කමට ටෙරී මුහුණ දුන්නා.දකුණු පාදය ඉවත් කරනවා. නමුත් රෝහලේ ඇදකට වෙලා අඩන්න පසුතැවෙන්න කාලය නාස්ති කලේ නෑ.කෘත්‍රිම පාදයක් ඒ වෙනුවට භාවිතා කරමින් මුලු පිළිකා රෝහල පුරා ඔහු ඇවිදින්න පුරුදු වුණා. එතකොට ඔහු දැක්කා විශාල රෝගීන් පිරිසක් ඔහු වගේම අසරණ වෙලා ඉන්නවා. ටෙරී වෛද්‍යවරයාගෙන් අහනවා ” මේ තරම් පිළිකා රෝගීන් කොහොමද ඉන්නේ” කියලා . ” ඔයා වගේ තමා ටෙරී මේ හැමෝටම පිළිකාව කලින් හදුනා ගන්න බැරි වෙලා. ඒ ඊට යන අධික වියදම නිසා.කලින් හදුනා ගත්තා නම් ඔයාගෙත් කකුල නොකපාම බේරා ගන්න තිබුණා” වෛද්‍යවරයා එහෙම කියද්දී ටෙරීට ලොකු වේදනාවක් කලකිරිමක් ඇති වුණා. තුවාලේ තියෙන කෙනාට නෙ වේදනාව තේරෙන්නේ. ඔහුට දැනුනා ඒ අසරණ හදවත් වල වේදනාව.

ඔහු තීරණය කරා නොමිලේ පිළිකා රෝගීන් හදුනා ගැනීමට අරමුදලක් පිහිටුවන්න.ඒ කොහොමද ? ඔහු ඒ වෙනුවෙන් මහන්සි වුණා. කැපවීම් කලා. අවසානයේ දවස උදා වෙනවා.ඒ වෙනකොට ඔහුට අවු 22යි. ඔහු තම කෘත්‍රිම පාදයෙන් මැරතන් එකක් දුවනවා අරමුදලට ආධාර පිණිස. ඒත් වෛද්‍යවරුන් පැවසුවේ මේකෙන් එයාගේ ජීවිතේ වුණත් නැති වෙන්න පුලුවන් කියලා .මොකද එතකොට ටෙරීගේ පිළිකාව පෙනහලු දක්වා පැතිරිලා තිබුණු නිසා. මුලදි ඔහුගේ මව මේකට කැමති වුනේ නෑ.ඒත් අන්තිමට ඇය ඔහුට සහය දෙනවා.ටෙරී ඒ වෙලාවෙ අම්මට මෙහෙම කියනවා.” ඔයා විතරයි අම්මේ මාව විශ්වාස කලේ.” පුවත මුලු රටේම ලැව් ගින්නක් වගේ පැතිරුනේ බොරු කකුලක් දාගෙන පොඩි කොල්ලෙක් දුවනවා කියල. ඩොලර් 1ක මුදලක් එක් නරඹන්නෙකුගෙන් අය කිරීමට ඔහු බලාපොරොත්තුව වුනා. කැනේඩියානුවන් මිලියන 24ක් ඔහුගේ මැරතන් එක නරඹන්න පැමිනියා. සියල්ලන්ම දෑස් විසල් කරමින් බලා සිටියේ කිලෝමීටර් 5000ක් තනිවම බොරු කකුලෙන් දුවන්නේ කොහොමද කියලා.ඔහු කිලෝමීටර 5000 සම්පූර්ණ කරනවා.ඒත් එක්කම ලේ වමනය දමමින් මහ පාරේම ඇද වැටුණා. ඔහුගේ අවසන් හුස්ම 1981 ජුනි 28 ඒ මොහොතේ පිළිකා රෝගීන් වෙනුවෙන් පුද කරනවා.

ටෙරීගේ යහපත් අරමුණ ඵල දැරුවා .ටෙරී ෆොක්ස් නමින් පිළිකා පදනමක් පිහිටවුණා. එයට ලොව පුරා රටවල් 60 කට අධික ප්‍රමාණයක් මුදලින් දායකත්වය ලබා දුන්නා . ඒ නිසාම අදටත් බොහෝ පිළිකා රෝගීන් කලින්ම රෝග පරීක්ෂාව නොමිලේ කරගනිමින් සුවය ලබනවා.

ඔහු වෙනුවෙන් ස්මාරක , මාවත් , මෙන්ම ” The terry fox story (Heart of champion ) යනුවෙන් චිත්‍රපටයක් ද නිර්මාණය වුණා. ඒ ඔහු සමස්ත ලෝකයාටම සිදු කල සේවයට ගරු කිරීමක් වශයෙනි . ඇත්තටම ඔහු සැබෑ ලෝකයේ සුපිරි වීරයෙක්. වරක් ඔහු මෙසේ පවසනවා.

“මං හීන මවන්නෙක් නෙවේ.ඒත් මං ආශ්චර්ය විශ්වාස කරන්නෙක්.හැමකෙනෙක්ම උත්සාහ කිරීමේ බලාපොරොත්තුව අත් හැර දමා ඇති බවයි පෙනෙන්නේ ඒත් එය එසේ නොවිය යුතුයි.එය ලෙහෙසි නැත.මිනිසුන් කෙතරම් ප්‍රමාණයක් හොද දෙයක් කිරීම අත් හැර දමනවා ද , එසේ නොවුණා නම් අපි මීට අවු 20කට කලින් පිළිකාවට ප්‍රතිකාර සොයා ගත හැකිව තිබුණා.අනිවාර්යයෙන් මං යමක් ඉටු කරනවා.”

උත්සාහය , නොබිදෙන අධිෂ්ඨානය, ආත්ම විශ්වාසය ,පරාර්ථකාමීත්වය, යහපත් චේතනාව තියෙනවා නම් ආශ්චර්ය විශ්වාස කරන්න කියලා ටෙරී අපිට පෙන්නලා දෙනවා, ඉතිං ඔයත් ආශ්චර්ය විශ්වාස කරන්නෙක් ද?

සටහන : චාමිනි කුමාරතුංග

belive in yourself

Student of university of ruhuna Science faculty

2 Comments

Previous Post Next Post

Contact Form