කට ඇද වෙලාද?? මුණ පැත්තට ගිහින්ද?? එක ඇසක් සම්පුර්ණයෙන් පියවගන්න බැරිද?? /Bell’s Palsy ද?


  • මෙම රෝගී තත්වයේදී සිදු වෙන්නේ ඔයාගේ මුහුණේ එක් පැත්තක මාංශ පේශි දුර්වල වීමක් හෝ අකර්මන්‍ය වීමක්. මේක ඇත්තටම සිද්ධ වෙන්නේ බොහෝ වෙලාවට මුහුණේ එක පැත්තකට විතරයි...

කට ඇද වෙලාද?? මුණ පැත්තට ගිහින්ද?? එක ඇසක් සම්පුර්ණයෙන් පියවගන්න බැරිද?? /Bell’s Palsy ද?

  • මේ නිසා මුහුණ එක් පැත්තකට ඇද වී යාම හෝ තද ගතියක් ඇති වීමට පුළුවන්. මේ නිසා ඔයාට හිනා වෙන්න අපහසුකම් ඇති වෙනවා. එකට හේතුව තමයි ඔයා හිනා වෙනකොට ඔයාගේ කට තව තවත් මුහුණේ එක් පැත්තකට ඇදී යාම. ඒ වගේම රෝගය වැළදුන පැත්තේ ඇස වහන්න අපහසු කම් ඇති වෙන්න පුළුවන්. මේ නිසා ඇසට විෂබීජ ඇතුල් වී ඇස ආසාධනය වෙන්නත් පුළුවන්.

  • ගොඩාක් වෙලාවට මේ Bell’s palsy කියන එක තාවකාලික රෝගී තත්වයක්. ඒ වගේම එයින් ඇති වන රෝග ලක්ෂණ ටික කලකින් පහ වෙලා යනවා.
  • මෙය ඕනෑම වයස් කාණ්ඩයකට ඒ කියන්නේ, කුඩා ළමුන්ට මෙන්ම වැඩිහිටියන්ටද වැළදෙන්න පුළුවන්...
දැන් අපි බලමු මොනවද මේ අකර්මන්‍ය වෙන මුහුණෙ තියන මාංශ පේශි කියලා...
  • අපි දන්නවා අපේ ශරීරයේ මාංශ පේශි ගණනාවක් තියනවා කියලා. ආසන්න වශයෙන් මාංශ පේශි 650 ක් පමණ තිබෙනවා. අපේ ශරීරයේ ඇති වන චලන සඳහා මේ මාංශ පේශි අපට වැදගත් වෙනවා.
  • අපේ අත පය වල විතරක් නෙවේ අපේ මුහුණෙත් කුඩා කුඩා මාංශ පේශි රාශියක් තියනවා. ආසන්න වශයෙන් 43 ක් පමණ. පහල තියන රුපය දැක්කාම ඔයාලට මේ මාංශ පේශි හඳුනා ගන්න පුළුවන්. දැන් ඔයාලා කල්පනා කරයි මොකටද මුහුණට මාංශ පේශි කියලා.

  • අපි දන්නවා අපේ මුහුණෙන් අපිට විවිධ හැඟීම් දැනීම් වගේම විවිධ ඉරියව්, සතුට අසතුට ප්‍රකාශ කරන්න පුළුවන් එය වචන වලින් කියන්නේ නැතුව... ඒවට අපි කියනව facial expressions කියලා.
  • facial expressions වලට විතරක් නෙවේ අපි ආහාර හපනකොට යටි හනුවේ චලන සඳහාද මේ මාංශ පේශි අපිට උදව් වෙනවා...

  • සමහර විට ඔයාලා දන්නවත් ඇති, මාංශ පෙශියකට චලන ඇති කරන්න එම පෙශියට මාධ්‍ය ස්නායු පද්ධතියෙන් පණිවිඩ ගෙනියන්න ඕනේ... ඒකට මාධ්‍ය ස්නායු පද්ධතියේ ඉදලා මාංශ පේශි කරා දිවෙන ස්නායු තියනවා.
  • මුහුණේ තියන මාංශ පේශි වලට පණිවිඩ ගෙනියන්නත් වැදගත් වන ස්නායු තියනවා. මුහුණේ තියන මාංශ පේශි වලින් වැඩි කොටසකටම ස්නායු අවේග ගෙනියන ස්නායු යුගල තමා 7වන කපාල ස්නායු යුගල. මුහුණේ දකුණු පස ඇති මාංශ පේශි වලට 7 වන දකුණු කපාල ස්නයුවත් වම්පස ඇති මාංශ පේශි වලට 7 වන වම් කපාල ස්නයුවත් ආදී වශයෙන්.

  • මෙන්න මේ 7 වන කපාල ස්නායුව මොළයේ පාදස්ථයෙන් ආරම්භවී හිස් කබලේ වූ කුහර කිහිපයක් හරහා ගමන් කිරීමෙන් පසුව අපගේ කන්පෙත්තට මදක් ඉදිරියෙන් ඇති කුහරයකින් (stylomastoid foramen) පිටතට පැමිණෙන අතර ඉන් පසු එය ප්‍රධාන වශයෙන් ශාකා පහකට බෙදී මුහුණේ එම පැත්තේ ඇති බොහොමයක් මාංශ පේශි වලට ස්නායු අවේග සපයයි.
එතකොට කොහොමද මේ රෝගය වැළදෙන්නේ ????
  • Bell’s palsy කියන තත්වය ඇතිවෙන්නේ බොහෝ දුරට 7වන කපාල ස්නායුව හිස් කබලේ ඇති කුහරයක් තුලදී හෝ එය මතු වන තැනදී තෙරපීමට ලක් වීමෙන් හෝ ඉදිමුමට ලක්වීමෙන්. මෙසේ වීම නිසා මුහුණේ එම පැත්තේ මේ ස්නායුව මඟින් අවේග ගෙනයන මාංශ පේශි අකර්මන්‍ය වීමක් හෝ දුර්වල වීමක් සිදු වෙන්න පුළුවන්.
  • මුහුණේ ඇති මේ මාංශ පේශි වල ක්‍රියා නොකරන අවස්ථාවේදී පවා යම් ආතතියක් තියෙනවා. අන්න ඒ ආතතිය නිසා තමයි මුහුණේ ඇති අවයව එල්ලා වැටීමකින් තොරව සමබරව තියන්නේ. එම ආතතිය ඇති වීමට ස්නායු සැපයුම අනිවාර්යයෙන් තිබිය යුතුයි.
  • නමුත් එක් පැත්තක ස්නායු සැපයුම නැති වීම නිසා එම පැත්තේ මාංශ පේශි වල මෙම ආතතිය නැති වී යනවා එම නිසා එම පැත්තේ කටේ කොන එල්ලා වැටෙනවා. ඒ විතරක් නෙවේ මුහුණේ අනිත් පැත්තට ස්නායු සැපයුම හොදින් තිබෙන නිසා එම පැත්තේ මාංශ පේශි වල ආතතියක් ඇති නිසා කට ඒ පැත්තට ඇදී යනවා. එනම් මුහුණේ අවයව වල සමබර තාවය බිදෙනවා. එමෙන්ම සිනාසෙන විට මෙය වැඩිපුර දකින්න පුළුවන්.

ඉතින් මේ ස්නායුව මේ විදියට තෙරපීමට ලක්වෙන්න හෝ ඉදිමෙන්න නොයෙකුත් හේතු තිබෙනවා...
  • මේවා අතරින් සුලභතම හේතුව තමයි වෛරස් ආසාධන.
          1. වෛරස් ආසාදනයන්.                     උදාහරණ වශයෙන් කිව්වොත්, පැපොල,                                              කම්මුල්ගාය,                                             හර්පීස්, 
                                            ඉන්ෆ්ලුවෙන්සා වෛරසයන් ඒවායින් කිහිපයක්.          2. හිසට සිදු වන අනතුරක්.          3. අංශභාගය.          4. හිසේ සහ කණ ආශ්‍රිත ඇති වන ගෙඩි (පටක වල අසාමාන්‍ය වැඩීමක්) යන හේතුත් මෙම රෝගයට 
             හේතු වෙන්න පුළුවන්.
මෙම රෝගය වැළඳෙන්න අවදානම් තත්වයේ ඉන්නේ කවුද???
          1. දියවැඩියා රෝගීන්           2. ශ්වසන රෝගීන්          3. ගැබිණි මව්වරුන්          4. දරු ප්‍රසූතියකට මෑතක දී මුහුණ දුන් මව්වරුන්           5. පවුලේ තවත් කාට හරි මෙම රෝගය තියෙනවා නම් 
  • මෙම රෝගය කාන්තාවන් සහ පිරිමි දෙගොල්ලන්ටම එක සමාන ප්‍රවණතාවකින් වැළඳෙන්න ඉඩකඩ තියනවා.
මොනවද දැන් මේ Bell’s palsy වල රෝග ලක්ෂණ?
  • පහත දැක්වෙන රෝග ලක්ෂණ ඔබට උණ රෝගයෙන් , කණ ආසාදනයකින් හෝ ඇස් ආසාදනයකින් සති දෙකකට පමණ පසුව වර්ධනය විය හැක. ඒ වගේම මෙම ලක්ෂණ එක පාරටම උවද දර්ශනය විය හැකියි.
  • මෙම රෝගයේ දී මුහුණේ එක අර්ධයක මාංශ පේශි ක්‍රියාකාරීත්වය අකර්මණ්‍ය වන නිසා,
         1. මුහුණේ අර්ධයක් කඩා වැටිලා වගේ පෙනීම.         2. ඒ අර්ධයේ ම ඇස විවර කිරීමට හෝ වැසීමට අපහසු වීම.         3. කට පැත්තට යාම.         4. කටේ කෙළවරින් ඛේටය වැගිරීම.         5. ආහාර ගිලීමේ අපහසුතා.         6. වතුර පානය කරන විට කටේ කෙළවරින් ජලය වැගිරීම.         7. සිනාවීම, නළල රැළි කිරීම වගේ ඉරියව් නිරූපනය කරන්න අපහසු වීම.         8. ඇසේ සහ මුඛයේ වියළි ස්වභාවය.         9. හිසේ කැකුම.         10. මුහුණේ සංවේදනයේ ඇති වෙනස්කම්.         11. ශබ්ද සංවේදීතාව වැඩි වීම.         12.කථනයේ අපහසුතා - වචන ගොත ගැසීම, වචන පැටලීම.         13.නළල රැලි කිරීමට නොහැකි වීම.

  • ඉතාමත් කලාතුරකින් මෙම රෝගය මුහුණේ දෙපසටම එක් වරක දී වැළදීමටද හැකියි.
දැන් අපි බලමු කොහොමද මේ රෝගය හඳුනා ගන්නේ කියලා...
  1. Electromyography (EMG) - මේ මගින් ස්නායුවේ සහ අදාළ මාංශ පේශි වල විද්‍යුත් ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරනවා.

2. MRI, CT scans, or X-rays - මේ මගින් ආසාධන තත්වයන්, හිස් කබලයේ බිදී යාම් වගේම හිසේ සහ කණ ආශ්‍රිත ඇති වන අසාමාන්‍ය තත්වයන් හදුනා ගනු ලබනවා.

අපි දැන් බලමු කොහොමද මේ රෝගයට ප්‍රතිකාර කරන්නේ කියලා...

1. රෝගියා දැනුවත් කිරීම සහ සංකුලතා වැළක්වීමට උපදෙස්.

2. ආසාදන තත්ත්ව සුව කරන්න බෙහෙත් පෙති භාවිතය. (NSAIDs).

3. වේදනා නාශක බෙහෙත් පෙති.

4. ඇස වියලීම වැලක්වීමට eye drops.

5. ස්නායුව තෙරපීමකට ලක් වී ඇත් නම් එය නිදහස් කිරීමට ශල්‍ය කර්ම.

6. මුහුණ massage කිරීම.

භෞත චිකිත්සක ප්‍රතිකාර ක්‍රම...
  • පහත ප්‍රතිකාර ඔබට භෞතචිකිත්සක ප්‍රතිකාර මද්‍යස්ථානයකින් ලබා ගත හැකි අතර නිවැරදිව ව්‍යායාම සිදු කරන අකාරය භෞතචිකිත්සක වරයෙකුගෙන් දැන ගත හැක.
  • මුල සිටම නිවැරදි භෞතචිකිත්සක ප්‍රතිකාර ක්‍රම මඟින් මෙම රෝගී තත්වය බොහෝ දුරට සුව අතට හරවා ගත හැක.

1. තාප චිකිත්සක ක්‍රම (Heat therapy modalities) (IR, SWD, UST, UV)

2. විද්‍යුත් උත්තේජනය (electrical stimulation)

3. මුහුණ ආශ්‍රිත මාංශ පේශි සඳහා ව්‍යායාම (facial exercises).

https://www.youtube.com/watch?v=8PcHtClQWyI

4. manual massage.

https://www.youtube.com/watch?v=uRPEO-C7Vig

5. Taping.

6. PNF technique.

මේ ලිපිය ඔයාට වැදගත් උනා නම් like එකක් දාල share කරන්න අමතක කරන්න එපා... :) :)

Post a Comment

Previous Post Next Post

Contact Form